කලා ක්ෂේත්‍රය තුළින් රසවින්දනයට දොරටු විවර කරන කලාකරුවෙක් විදියට ගිරිරාජ් කෞෂල්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. ප්‍රවීණ රංගන ශිල්පියෙක් පිටපත් රචකයෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන මොහු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ, කුකුළා මුදලාලි චරිතයට රංගන දායකත්වය සැපයීමත් සමඟ මේ දිනවල දී බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා තියෙනවා. ඉතින් අද, සංකලන මේ කතාබහ ඔහු සමගයි.

ආයුබෝවන්! ඔබ පිළිබඳව නිර්වචනයක් කරන්න කිව්වොත් ඔබ කවුද? 

ආයුබෝවන්! මට මං ගැන හැඳින්වීමක් කරනවා නම් මම කලාකරුවෙක්. ඒක මගේ රැකියාව. කලාකරුවෙක් කියන්නේ මම අධ්‍යක්ෂවරයෙක්. මුලින්ම නළුවෙක් ඊළඟට අධ්‍යක්ෂකවරයෙක් ඊට පස්සේ රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට කාලයක් කටයුතු කළා. ඊළඟට ඒ සියල්ල මගේ රැකියාව. ඒ හරහා මම කලාකරුවෙක්. ඊට අමතරව මම විශ්වාස කරන විදිහට, මම මුලින්ම මම මගේ දෙමව්පියන්ට හොඳ දරුවෙක්, සහෝදරයින්ට හොඳ සහෝදරයෙක්, මගේ බිරිඳට හොඳ ස්වාමිපුරුෂයෙක්, මගේ දරුවන්ට හොඳ තාත්ත කෙනෙක්, මගේ යහලුවන්ට හොඳ යහළුවෙක්, සමාජයට හොඳ මිනිහෙක්. 

ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද? 

පුංචි කාලෙ ඉඳලම මම කලාවට ආසයි. සින්දු කියනවා, අපේ ගෙදර තියනවා, ඒ වගේ පරිසරයක් මගේ වැඩිමල් ම අක්කා නීතා රංජනී. පුංචි කාලේ අපි අවට හිටපු ගෙවල් වල පුංචි පුංචි ළමයි එක්කහු කරල විවිධ ප්‍රසංග තියෙනවා සියලු දෙනාටම එන්න කියලා ගෙවල් කිට්ටුව පුංචි හට් එකක් ගහලා ඒකට සාරි ඇඳලා, තිර ඇඳලා ඔය විදිහට වටපිටාවේ, ප්‍රදේශයේ ඉන්න පුංචි පුංචි ළමයින්ට බලන්න එන්න කියනවා. දැන් වගේ ඉස්සර වෙන් වෙලා තිබුනේ නෑනේ තාප්ප ගහගෙන වෙන් වුණේ නෑ. එකපාරක් ගත්තහම ඔක්කෝමලා එකම ළමයි වගේ තමයි එකට සෙල්ලම් කරන්නේ. එකට දුවපැන විදින්නේ එක්කෝ ගෙවල් වල. අර ගෙදර යනවා, මේ ගෙදර යනවා ඔහොම ඔහොම පුංචි කාලේ අක්කා කරන විවිධ ප්‍රසංග වල රඟ පෑවා. ඊළඟට මගේ දහම් පාසලේ දී තෑගි බෙදා දීමේ උත්සවවල දී මම වේදිකාවේ රඟපෑවා, වේදිකා නාට්‍ය කලා, ජාතක කතා ආශ්‍රයෙන්. ඊළඟට පාසල් වේදිකා නාට්‍යය දී විශේෂයෙන් කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ දී කොළොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා මහා විද්‍යාලයටත් ගියා මුල්කාලයේදී. ඊටත් වැඩියෙන් කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් තමයි මට කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. ඒ පාසල් වේදිකාව හරහා. ඊට පස්සේ මම මගේ අයියා ලලිත් ජනකාන්ත. එයා මට කලින් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක්. ඉතින් ඒ නිසා එයාගෙ වේදිකා නාට්‍ය නරඹන්න මම නිතර ම යනවා ඒ නිසා බොහෝ වේදිකා නාට්‍යකරුවන් මගේත් මිත්‍රයන් වෙලා තිබ්බා. අයියාගේ මිත්‍රයන් නිසා. එහෙම ගිහිල්ලා එක දවසක් ප්‍රසන්නජිත් අබේසූරියගේ, දුක්ගන්නාරාල කියන වේදිකා නාට්‍යය වේදිකා ගත කරන්න යන මොහොතක, හදිස්සියේ නළුවෙක් ගේ අඩුවක් වෙලා ඒ අඩුව පිරිමහන්න තමයි මම මුලින් ම කිසිම පෙරහුරුවක් නැතිව වේදිකාවට නැග්ගේ. මොකද ඊට කලින් මම ඒ නාට්‍යය පස් හය වතාවක් බලලා තිබ්බ හින්දා, මට ඒ චරිතය පිළිබඳ හොඳ මතකයක් තිබුණා. ඒක නිසා ඒක කරන්න පුළුවන්කමක් තිබුණා. එතනින් තමයි පටන් ගැන්ම එතන ඉඳලා ඉතින් දිගට ම වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව, වීදි නාට්‍යය ඔක්කෝට ම සහභාගි වුණා. 

ඉතින් එතනින් කලා ක්ෂේත්‍රයේ ගමන ආරම්භ කරන ඔබ රිදී තිරයේ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ රංගනයෙන් දායක වූ නිර්මාණ අතර අදටත් ඔබ ඒ නිර්මාණයට දායක වුණා කියලා සතුටු වෙන්න පුළුවන් ආකාරයේ නිර්මාණයන් තියෙනවද? ඒ මොනවද? 

නිර්මාණ ගණනාවක් තියෙනවා. ඒකෙන් මම සම්මානයට පාත්‍ර වුණ නිර්මාණ දෙකක් ගැන කතා කරන්න කැමති. එකක් තමයි ඉසුරු භවන කියන ටෙලි නාට්‍යය. සුසිරන් ද සිල්වා මහතාගේ තිර රචනය. ජනක සුරංජිත් මහතාගේ අධ්‍යක්ෂණය. ඒක ගියේ ජාතික රූපවාහිනියේ. ඉසුරු භවන ටෙලිනාට්‍යයේ කුරුනේරු කියන චරිතෙ තමයි මම රඟපෑවේ. ඒ කාලේ ඉතා ම ජනප්‍රියව ඒ චරිතයට බොහොම හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒ හරහා මාව සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේ ම ආනන්ද අබේනායක මහත්මයා අධ්‍යක්ෂණය කරපු තක්ෂලාව කියන ටෙලි නාට්‍යයේ ලූකස් මුදලාලි කියන චරිතයටත්, බොහොම දරදඬු මුදලාලි කෙනෙක්ගේ චරිතයක්. ඒ මුදලාලිගේ චරිතයටත් මට සම්මානයක් හම්බ උනා ආපහු හැරිලා බැලුවහ ම ඒ චරිත දෙකම දෙවිදියක චරිත දෙකක්. කුරුනේරු කියන චරිතය කපටි කෛරාටික කාර්යාලීය සේවකයෙකු හාස්‍ය උත්පාදන රංගනය එක්ක ළඟින් යන එකක්. ඉතින් හාස්‍යයක් තියෙනවා, කපටිකමත් ඔක්කොම තියෙනවා. නමුත් ඊට හාත්පසින් ම වෙනස්, ලූකස් මුදලාලි කියන චරිතය. ඉතින් මේ චරිත දෙකට ම මට සම්මාන ලැබිච්ච නිසා ම නෙමෙයි. මම ආපහු හැරිලා බලනකොට තෘප්තිමත් වෙන්න සතුටු වෙන්න පුළුවන් චරිත දෙකක් තමයි ඒ චරිත දෙක. 

ඔබ දායක වෙච්ච නිර්මාණ අතර ඔබතුමාට වඩාත් ප්‍රේක්ෂක ආදරයක් ලැබුණු නිර්මාණය මොකක්ද? 

ඒක සාමාන්‍යයෙන් මෙහෙමයි. අපි එක රැයින් ජනප්‍රිය වෙච්ච මිනිස්සු නෙමෙයි. අපි හෙමින් හෙමින් හෙමින් ආපු ගමනක් තියෙනවා. ඒක නිසා දැන් මේ වෙනකොට ඉතා ම හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. නාඩකම්කාරයෝ කියන ටෙලි නාට්‍යයේ කුකුළා මුදලාලි කියන චරිතයට. ඉතින් විවිධ කාලවලදී ජනප්‍රිය වන ටෙලිනාට්‍ය එක්ක අපි ජනප්‍රිය වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට වඩාත් ම ජනප්‍රිය වෙලා තියෙන්නේ යූටියුබ් වල trending වෙලා රටවල් ගණනාවක් නරඹන, හැමදෙනා ම නරඹන ටෙලිනාට්‍යයක් වෙලා තියෙන්නේ මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ, කුකුළා මුදලාලි කියන චරිතය තමයි. දැන් මට පාරට බහිනකොට හැමෝම කුකුළා මුදලාලි කියලා කතා කරනවා ඉතින් ඒකෙන් ම තේරෙනවා මොනතරම් ඒ නාට්‍යය ජනප්‍රිය ද කියන එක. 

වර්තමානයේ ටෙලිනාට්‍ය කලාවේ අපි දකිනවා, විදේශීය නාට්‍ය සිංහලයෙන් හඬ කැවීම් කරලා විකාශනය වෙනවා. ඒ වගේ ම විදේශීය සිනමාව, අද ලාංකීය ටෙලිනාට්‍ය කලාවට ඇවිල්ලා තියෙනවා කලාකරුවෙක් විදිහට මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? 

මම කියන්නේ ඒ දෙකම කමක් නැහැ. ඒ දෙකෙන් ම අපිට එන්නේ හොඳ නිර්මාණ නම් අපිට හඬ කවලා පෙන්වන හොඳ නිර්මාණ මොකක් ද. විශේෂයෙන්ම මට මතකයි, "මල්ගුඩි දවස" කියලා ටෙලි නාට්‍ය මාලාවක් ම ඒ කාලේ හඬ කවලා අපිට පෙන්නුවා. ඉතා නිර්මාණශීලී, රසවත් නාට්‍යයක් තමයි කේ. නාරායන්ගේ "මල්ගුඩි දවස" කියන ඒ කතා මාලාව. ඉතින් ඒ වගේ ම අපිට මතකයි අර "ඔෂින්" කියන ටෙලිනාට්‍ය මාලාව. මේවා අපට අලුත් දේවල් වුනා. අපේ රසවින්දනය වෙන පැත්තකට ගෙනිච්චා. ලෝකයේ තියෙන දේවල් නරඹන්න තියෙන එක හොඳයි. ඒ නරඹන එකත් එක්ක ඔවුන්ගේ රඟපෑම්, ඔවුන්ගේ තාක්ෂණික විධි ක්‍රමයන්, පිළිබඳව අපි ඉගෙන ගන්නවා, අලුත් දේවල් දකිනවා. ඉතින් ඒ නිසා මම හිතනවා, බොහෝ වෙලාවට විදේශීය දේවල් ලංකාවට එනවා නම් හොඳයි. හැබැයි එකේ ප්‍රමිතියක් තියෙන්න ඕනේ. වෙන රටවල බලන්නේ නැතිව විසි කරලා දාපු ඒවා ගෙනැල්ලා මෙහෙ හඬ කවලා වැඩක් නෑ. වෙන රටවල කරන්න බැරි දේවල් මෙහෙ ගෙනැල්ලා subtitle දාලා, වෙන රටවල ප්‍රසිද්ධ වෙච්ච නැති, අපිටත් වැඩක් නැති කිසිම රසවින්දනයකට ගන්න බැරි වෛරයයි, ක්‍රෝධයයි වපුරන ටෙලි නාට්‍යය මෙහි ගෙනැල්ලා පෙන්නුවා කියලා ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. ඊට වැඩිය කිසියම් ආකාරයක දැනුමක් ලැබෙන අන්තර්ජාතික වශයෙන් කීර්තියක් ලබා තිබෙන චිත්‍රපටි පෙන්නනවනම් subtitle දාලා, නැත්නම් හඬ කවලා ඒක ඉතා ම ප්‍රයෝජනවත් වෙනවා, අපේ රසික ක්ෂේත්‍රය වැඩි දියුණු වෙන්න. මොකද අපේ රටේ ම නිර්මාණවලට වැඩිය පිටරටවල නිර්මාණ බොහෝ වෙලාවට ගුණාත්මක බවින් ඉහළයි. විශාල වශයෙන් ගුණාත්මක බවින් ඉහළ සිනමා නිර්මාණ, ටෙලිනාට්‍ය තියෙනවා ඉතින් පෙන්නනව නම් පෙන්නන්න. ඒවගෙන් තමයි අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතුව හැමදාම අර හැම එක ම වට්ටෝරු ගත දෙමළ චිත්‍රපටි ටිකක් පෙන්නුවා කියලා subtitle දාලා ඒකෙන් වැඩක් නෑ. මොකද හැම එකේ ම කැති පොලු ටිකක් අරගෙන ඇවිල්ලා මිනිස්සුව මරණ එකයි, වෛරය ජයගන්න එකයි. ඔය අතරේ අපිත් ගෙදර ඉන්නකොට බලනවනේ චිත්‍රපටි. ඔය අතරේ ලස්සන චිත්‍රපටිත් අපි දකිනවා. අන්න, මම කියන්නේ කිසියම් ආකාරයකින් කවුරු හරි මූලික වෙලා අලුත් අත්දැකීමක් ලබාගන්න, ප්‍රේක්ෂක රස වින්දනය කිසියම් ආකාරයකට දියුණු කරන්න පුළුවන් මට්ටමේ නිර්මාණ පිට රටවල් වලින් ගේනවා නම් මං ඒකට ඉතාම කැමතියි, ඉතාම සතුටුයි, ඉතාම එකඟයි, හැබැයි ගේන්නේ කසිකබල් නිර්මාණ නම් ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. 

සිනමාවට දායක වුණ රංගන ශිල්පියෙක් විදියට වර්තමානයේ ලාංකීය සිනමාව සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? 

වර්තමානයේ, කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක තියෙන වර්තමානය ගැන කතා කළොත් නම් ඉතාම සෝචනීයයි. විවිධ ප්‍රශ්න රාශියක් තියෙනවා මේ වෙනකොට. මොකද සිනමා ශාලා වැහිලා. මිනිස්සුන්ට සිනමා ශාලාවට යන්න විදිහක් නෑ, සිනමා ශාලා අරින්න විදිහක් නෑ, සිනමා ශාලා හිමියන්ට ඒක පවත්වාගෙන යන්න විදිහක් නෑ, ඒක නඩත්තු කරන්න විදිහක් නෑ, ඔහොම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඊට කලින්, අපි covid ප්‍රශ්නෙට කලින් බලපුවහම එතකොටත් පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් තිබුණා. ඔය බෙදාහැරීමේ ප්‍රශ්න. බොහෝ වෙලාවට රජයන් ආවට කිසිදු රජයක් ඉතා අවංක හදවතින් අවංක චේතනාවෙන් කලාවට, සිනමාවට, ටෙලි නාට්‍යකරුවන්ට එහෙම කියලා ප්‍රතිපත්තිමය වශයෙන් මහා දෙයක් කරලා නෑ කියලයි මං හිතන්නේ. නළුනිලියෝ් හිටියා මන්ත්‍රීවරු වෙලා, තවමත් ඉන්නවා. කලාවට සම්බන්ධ අය තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වගේ ම අපිට පොඩි පොඩි අවස්ථාවල දී කිසිම ප්‍රතිපත්තියකුත් නැතුව විවිධ දේවල් ලබා දෙනවා. ඒ කියන්නේ, ආණ්ඩුවලට පක්ෂපාතීව ඔවුන්ට ගැතිව ඔවුන්ගේ වේදිකා වලට නැගපු පිරිස්වලට වෙන වෙන විදිවලට සලකනවා. එහෙම නැතුව, ප්‍රතිපත්තියක් වශයෙන් සියලුම කලාකරුවන්ට කළ යුතු දෙයක් කරන්න පුළුවන් ඇත්තටම. කලාකරුවන්ට කියලා එහෙම කරන්න ඕනේ නැහැ හරි ප්‍රතිපත්තියක් හදලා සිනමාව ආදී මේවට උදව් කරනවා නම්, අනිත් අයත් ඒකත් එක්ක දියුණු වෙමින් ජීවත් වෙන්න පුළුවන්. දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි, චිත්‍රපටි නළුවෙක් හැටියට වෘත්තියක් විදිහට ඒක කරගෙන ඒකෙන් ජීවත් වෙන්න බැරි, අමාරු තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ.

ඔබට අනුව හොඳ රංගන ශිල්පියෙක්/ ශිල්පිනියක් වෙන්න නම්, ඒ සඳහා වඩාත් වැදගත් වෙන්නේ, ඒ සම්බන්ධයෙන් ලබාගන්නා අධ්‍යාපනය ද? අත්දැකීම් ද? එහෙම නැත්නම් ඒ දෙකම ද? 

ඒ දෙකම. අත්‍යාවශ්‍යයෙන්ම ඒ දෙකමයි. මොකද රඟපෑම පැත්තට විතරක් නෙමෙයි. අපි වෙන දෙයක් ගැන හිතුවත් වාදන ශිල්පියෙකුට, එහෙම නැත්නම් මේසන් බාස් කෙනෙකුට, ඉංජිනේරුවෙක් ගත්තත් ඔහු ඉතාම හොඳින් විභාගය අවසන් කරලා ආවට, ඔහුට සමහරවිට බාසුන්නැහැ ට තියෙන බාහිර දැනුම නැති වෙන්න පුළුවන්. ඔහු අවුරුදු 4ක් විතර ඉඳලා විභාගයක් කරලා එළියට ආව ගමන් ඔහු ඉංජිනේරුවෙක් වෙනවා. නමුත් අවුරුදු 25ක් විතර වැඩ කරලා පරිණත වෙච්ච බාසුන්නැහැ කෙනෙක්ගේ අත්දැකීම්වලින් බිඳක්වත් ඔහුට නැහැ. ඉතින් ඔන්න ඕක තියෙනවා. මම කියන්නේ විශේෂයෙන් ම අපි නාට්‍ය රංගනය පිළිබඳව ඉගෙන ගන්න ඕනේ. හදාරන්න ඕනේ, ඒක ඕනෙමයි. එහෙම නැතුව මේක සෙල්ලමක් නෙමෙයි. මේක හැමෝටම කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. හැබැයි ඒක ඉගෙනගෙන අපි ප්‍රායෝගිකව අපේ දේවල් වල අත්දැකීම් ගන්න ඕනේ. ප්‍රායෝගික අත්දැකීම් කියන්නේ මේ විශේෂ දේවල් නෙමෙයි. අපිට කැත්තක් අතට දුන්නාම මේ කැත්තෙන් පොල්පිත්තක් කපන්නේ කොහොම ද කියන එක තේරුම් ගන්න ඕනේ. උදැල්ල අල්ලන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. පොල් උලකින් පොල් ගෙඩියක් ලෙලි ගහන්න කොහොමද කියලා දැනගන්න ඕනේ. දැන් මේ ළඟදි මාත් එක්ක රඟපාපු, මගේ දුවෙකුට වගේ රඟපාපු, ආධුනික පුංචි නිළියක්, මගේ දරුවෙක් වගේ. එයාට පොල්ගාන දර්ශනයක් තිබ්බේ. අම්මයි, එයයි, තාත්තා හැටියට මමයි, අපි තුන් දෙනා තමයි රඟපාන්නේ. එයා පොල් ගාන්න ඕනේ පොල් ගාලා ආ දැන් ඔය ඇති කියලා කියනවා අම්මා. නමුත් ඒ දරුවා පොල් ගාපුවා ම පොල් පොඩ්ඩක්වත් ගෑවිලා නෑ. ඒ ඇයි එයා ගෙදර කවදාවත් පොල් ගාලා නෑ. එතකොට එයාට ඒ අත්දැකීම නෑ. මං කියන්නේ වාහන එලවන්න, පිහිනන්න මේ සියලු අත්දැකීම් විඳගෙන, ගෙවල් දොරවල් වල වැඩ කරන විදිහ, ආදී මේ සියල්ලෙන් පරිපූර්ණ වෙච්ච හොඳ තැලිච්ච කෙනෙකුට තමයි හොඳ නළුවෙක් හෝ හොඳ නිළියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතේ කට්ට කන්න ඕනේ. නිරූපණය කරන කොට තමන්ගේ අත්දැකීමක් තමයි නිරූපණය වෙන්නේ. එහෙමයි කියලා මම මැරෙන දර්ශනයක් ගත්තාම මම මැරිල නෑනේ. ඊට කලින් මගේ අත්දැකීමක් නෑනේ. මැරුණා කියන එකට. එතකොට මම කොහොමද මැරෙන දර්ශනයක් නිරූපණය කරන්නේ. මම ඊට කලින් දැකපු, සමහරවිට චිත්‍රපටියක ම, පිටරටක චිත්‍රපටියක හරි අපේ ම චිත්‍රපටයක ගාමිණී ෆොන්සේකා මහත්තයලා, ජෝ අබේවික්‍රම මහත්තයා වගේ ප්‍රවීණයෙකු රඟපාන කොට ඔහු මැරෙන විදිහ නිරූපණය කරපු ආකාරය, එහෙම නැත්නම් අපි ඇත්තට ම, ඇස් දෙකෙන් අපේ ඥාතියෙක් ගේ ඇතුලේ ඉඳල පණ ඇදලා ඇඳ උඩ මැරෙනවා අපි දැකලා තිබ්බ නම්, මෙන්න මේ වගේ අනිත් අයගේ අත්දැකීම අපිට අපේ කරගන්න පුළුවන්. එතකොට ඒකත් අපේ අත්දැකීමක් වෙනවා. දැන් නිකං හිතන්න ආධුනික නිළියක් කසාද වත් බැඳපු නැති නිළියක්, ජීවිතයට බබෙක් ප්‍රසූත කරලා නැති කෙනෙක් එනවා දරුවෙක් ප්‍රසූත කරන අවස්ථාව නිරූපණය කරන්න. ඉතින් මොකද්ද, එයාට අත්දැකීමක් නෑනේ. හැබැයි දැන් ඒ වගේ දෙයක් දකින්න විදිහකුත් නෑනේ. බොහෝ වෙලාවට එතකොට අපේ අත්දැකීම වෙන්නේ වෙන කෙනෙකුගේ අත්දැකීමක්. අපි වෙන කෙනෙකු නිරූපනය කරන දෙයක් බලලා කරලා තමයි අපිට ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සියලු අත්දැකීම් අපිට අවශ්‍ය වෙනවා හොද නළුවෙක් වෙන්න. අධ්‍යාපනයත් අත්‍යාවශ්‍ය වෙනවා .මේ දෙක එකට එක්කහු වුණොත් ඔහුව වට්ටන්න බැරි නළුවෙක් හෝ නිළියක් වෙනවා. ඔහු ඉදිරියටම ඉදිරියටම යනවා. එහෙම ඉදිරියටම යන නළු නිලියෝ ඕන තරම් අපේ රටේ තරුණ නිළියෝ පවා ඉන්නවා. ඒ වගේම වැඩි හිටියත් ඉන්නවා. 

අද වෙද්දි ටික්ටොක් වගේ සමාජ මාධ්‍යයන්ගෙන් ජනප්‍රියත්වයට පත් වෙන රංගන ශිල්පීන්/ශිල්පිනියන් මේ කලා ක්ෂේත්‍රයට එකතු වෙලා තියෙනවා මේ තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? 

මගේ නම් එහෙම විශේෂ අදහසක් නෑ. ඉතින් ඒවගෙන් දක්ෂතා තියෙන අය ආවොත් ඒගොල්ලොත් දිගටම පවතී. එහෙම නැතුව දක්ෂතාවයක් නැත්නම් ඇවිල්ලා ආපහු යයි. එච්චර තමයි වෙන්නේ. මේකෙ ලොකු වෙනසක්වත්, ලොකු දෙයක්වත් වෙන්නේ නෑ ඉතින්. 

වසංගත තත්ත්වයක් එක්ක වෘත්තීය රංගන ශිල්පියෙක් වගේම සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මේ කාලය තුළ ඔබතුමා මුහුණ දුන්න අභියෝග මොනවාද? 

ඇත්තටම විශේෂයෙන් ම මුලික අභියෝගය තමයි රූපගත කිරීමකට ගිහිල්ලා බය නැතුව මාස්ක් එකක් නැතුව රූපගත කරන්නේ කොහොමද කියන එක. මොකද දැන් අපි ඕනෙම වෙනත් රැකියාවක් කරන කෙනෙකුට මුව ආවරණයක් දාගෙන ඊට උඩින් තවත් ඕන්නම් face shield එකක් දාගෙන ඔහොම ඔහොම කරන්න පුළුවන්. නමුත් අපි තමයි එකම රැකියාව කරන්නේ මුව ආවරණයක් දාන්නෙ නැතුව. මම හිතන විදියට අනිත් ඕනෙම රැකියාවක් කරන්න පුළුවන් mask එක දාගෙන. අපිට තමයි ඒක කරන්න බැරි. අපි චරිතයක් නිරූපණය කරන නිසා. ඉතින් ඒ අවස්ථාවේදීත් අපි විශ්වාසනීයත්වයක් ගොඩනඟා ගන්න ඕනේ. අප වටා ඉන්න අනිත් පිරිස. විශේෂයෙන්ම මුව ආවරණයක් නැතුව අපිත් එක්ක එකට රඟපාන අනිත් පිරිස. අපි හිතමු මේකප් කරන කෙනා, කැමරා කරන අය, මේගොල්ලන් සියලු දෙනාටම mask දාගෙන ඉන්න කියන්න පුළුවන්. ඒගොල්ලන්ට දාන්නත් පුළුවන්. දැන් මාත් එක්කම රඟපාන අනිත් නළු නිළියන්ට දාන්න බෑනේ. එතකොට මං හින්දා වෙන කෙනෙක්ට බෝ වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් හින්දා මට බෝ වෙන්නත් පුළුවන්. ඕක තමයි මට තියෙන එකම අභියෝගය. මේ විශ්වාසනීයත්වය ගොඩනගාගෙන බය නැතිව රඟපාන්නේ කොහොමද කියන එක. 

ගොඩක් ලාංකීය ප්‍රේක්ෂකයන් පිරිසක් ආදරේ කරන චරිතයක් තමයි ඔබ. ඉතින් මේ ප්‍රේක්ෂකයන්ට ඔබව ඉදිරියේදී දැකගන්න පුළුවන් මොන වගේ නිර්මාණයන් ගෙන් ද? 

මම කරපු චිත්‍රපටයක් තියෙනවා මම ම නිර්මාණය කරපු "කතුරු මිතුරු" කියලා ඒක දැන් අවුරුදු දෙක තුනකට කලින් සියලු වැඩ කටයුතු අවසන් කරලා තිබ්බත් ඒක මුලින් ම නතර වුණා, සරාන්ගේ බෝම්බ පිපිරීමත් එක්ක. ඊළඟට මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්කයි. තාම පෙන්න ගන්න බැරි වුණා. ඉතින් මගේ නිර්මාණයක් හැටියට, මම කරපු නිර්මාණයක් හැටියට ඉදිරියේදී එන්න තියෙන එකක් තමයි ඒ. ඒක මම රචනා කරලා, මම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. මම හිතනවා රසිකයන් ඉතාම සතුටින් බාර ගනින් කියලා. මොකද ඒක බොහොම රසවත් විනෝදාත්මක චිත්‍රපටයක් නිසා, පවුලේ ඔක්කෝටම එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් හින්දා. දෙවන කාරණේ, මම රඟපාපු ඒවා දැනට "සකල ගුරු" සහ "නාඩකම්කාරයෝ" කියන ටෙලිනාට්‍ය දෙක පමණයි මම දැනට රඟපාලා තියෙන්නේ. තව මට ආරාධනා කිහිපයක් ආවත් සමහර ඒවා මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. සමහර චරිත මට නොගැළපෙන බවක් මට හැඟී ගියා. කැමැත්තක් දැක්වුවේ නැති නිසා මං ඒවා ප්‍රතික්ෂේප කළා. කීපයක් කතා කරලා තියනවා. දැනට මේ කොරෝනා තත්ත්වය හින්දා මං ගොඩක් වෙලාවට කතා කරපු ගොඩක් දේවල් වලට බැහැ කියලා, මේ තත්ත්වය පහව යනකල් පොඩි නිශ්ශබ්දතාවයකින් ඉන්න කියලා හිතුවා. නමුත් ඒ නාට්‍ය කිහිපයකටම කතා කරලා තියනවා. ඒ කියපු චරිත පිළිබඳවත් මගේ සතුටක් තියෙනවා. නමුත් ඒවා ස්ථිර නෑ. ඉතින් ඉදිරියේ දී අපි බබලමු, ඒ ටෙලි නාට්‍යය ඉදිරියේදි දැක ගන්න පුළුවන් වෙයි. මට නම් වශයෙන් එහෙම ස්ථිරව කියන්න බෑ දැන්ම. 

 සටහන - කෞෂානි මධූෂිකා